ආදරය, පරිසරය සහ පරිසරයට ඇති ආදරය
පසුගිය සතියේ දිනක මම මුහුණු පොතින් හමුවූ තරුණියක් මුණ ගෑසීමට කොළඹ ගියෙමි. ගමේ සිට කොළඹ යෑමට කෑ කට්ට ගැන මෙහි පැවසීම නොකිවමනාය. කෙසේ හෝ පෙර නියම කරගත් වේලාවට පැය එක හමාරක් කලින් මම අදාල තැනට ගොස් ඇය එනතුරු සිටියෙමි. ඇය ද කිසි ප්‍රමාදයකින් තොරව පැමිණියාය.
නිස්කලංක තැනකට පැමිණ කතාබස් කරන අතර තුර ඇයට චොකලට් මල්ලක් ද තෑගි දුනිමි. එතැනම චොකලට් මල්ල විවෘත කල ඇය මට ද පිරිණැමුවා ය.
මෙතෙක් දුරට අපේ ප්‍රථම දිනය වැඩි හැලහැප්පීමකින් තොරව ගත විය. එතන සිට වෙනත් ගමනාන්තයකට යනු පිණිස අපි බස් රථයකට නැග්ගෙමු. ඇය නැවත චොකලට් කන්නට පටන් ගත්තාය.
"ඔයා හිතනවා ඇති මම මාර චොකලට් පෙරේතියක් කියලා නේ ? "
"නෑ නෑ නෑ. අවුලක් නැහැ. ඔයාට දුන්නේ ඔයා කැමති කිව්ව හින්දනේ"
"ඔයාටත් ඕනි ද ? "
"නෑ එපා. ස්තුතියි ! "
ඇය කා ඉවර වූ චොකලට් දවටනය බස් රියේ කවුලුවෙන් ඉවත දමන්නට සැරසුනා ය.
"එපා එපා එපා !!!!! " මම ඇගෙන් ඉල්ලීමි.
ඇය මා දෙස හැරී බලා දවටනය කවුලුවෙන් ඉවතට විසි කළා ය !!!!
" ඉගෙන ගත්ත ඔයා ඔහොම කරද්දි අනිත් මිනිස්සු මොනවා නොකරයි ද ? " මම ඇගෙන් ඇසුවෙමි.
" ඉගෙන ගත්ත නැති මිනිස්සු ඉන්නේ ඕවා අස් කරන්න තමයි"
...................
මම මහා ලොකු පරිසරවේදියෙක් නොවෙමි. මම පාසල් කාලයේ පරිසර භටයෙක් වත් නොවෙමි. වන විනාශ ගැන විරෝධය පෑමට මම පුවරු උසුලාගෙන ද නොයමි. නමුත් මම පෞද්ගලිකව පරිසර දූෂණය ට හවුල් නොවෙමි. මගේ කුණු මම නිසි ලෙස බැහැර කරන්නෙමි.
ඉතින් ඉහත කී සිදුවීම නිසා මට කරුණු කිහිපයක් පැහැදිලි විය. ඇය සමහරක් විට ඈ මම කියන දෙයට අවනත නොවන බවක් පෙන්වීමට ඒ දෙය සිදු කලා විය හැකිය. නැතහොත් ඇය පරිසරය ගැන මෙලෝ තැකීමක් නොමැත්තියක විය හැක. එසේත් නැතිනම් වෙනත් කාරණයක් විය හැකිය.
මම තීරණයකට එළඹියෙමි. තනිකඩව හිටියා කියා මිනිස්සු මැරී නැත. ඇය මගේ මිතුරියක් ලෙසම හිටියාවේ !! තීරණය හිතේ තියාගෙන සිටීමෙන් පළක් නැත.
" අපි දෙන්නා ගැළපෙන්නේ නෑ " මම ඇගේ කණට කෙදිරීමි . ඇයට සමු දී බස් රියෙන් බැස ගියෙමි.
-නිමි-
සුදේශ් කේ. ප්‍රේමරත්න
03.12.2017
Comments
Post a Comment