දඩය

දඩය

ටිං.... ටිං........
ෆෝන් එකට නිදහසක් නැත.
හවස තුනේ පමණ සිට එක දිගට අලුත සෑදූ ගෲපයේ පණිවුඩ ගොඩ ගැසිලා . එකක් දෙකක් කියවූ මම ෆෝන් එක පැත්තකට දැමුවෙමි
"නිවාඩු දවසේ නිදාගන්නවත් දෙන්නේ නෑනේ මුං" මම සිතින් සාප කලෙමි.
ගමන කෝල් එකක්. "මොන අපතයාද දන්නේ නෑ පාර"
"හෙලෝ !!" මම නිදිමතේ කතා කලෙමි.
"නිදිද බං. මොකද්ද බං පොඩ්ඩක් රටට වැඩදායි දෙයක් කරපන්කෝ" අනිත් පැත්තෙන් එකෙක් කියවයි.
"අනේ මේ. මගෙන් මොකුත් අහගන්නේ නැතුව ඉන්නවද ? මොකටද උඹ කතා කලේ කියපන් බයිලා ගහන්නේ නැතුව

"අපි අද හවස මොනා හරි කරන්න ඉන්නේ. උඹත් වරෙන්. වැඩක් නෑනේ උඹට අද ?" 
"මම ආවා කියලා බොන්නේ නෑනේ බං. බයිට් කන එක තමා. කොහෙද සෙට් වෙන්නේ ?"
"තඩියාගේ ගෙදර. මම එන ගමන් උඹව ගන්නම්. හයට විතර ලෑස්ති වෙලා ඉඳපන්
"හරි බං එල
මම ෆෝන් එක පැත්තකින් තබා තව ටිකක් නිදාගත්තෙමි. හවස පහට පමණ අමාරුවෙන් නැගිටගත් මට හරියට ඇහැරුනේ වතුර ටිකක් ඇඟට වැටෙද්දීය. අම්මා හදා තිබූ ප්ලේන්ටියත් එක උගුරට බිව් මම හය වෙද්දී පිටත් වීමට සූදානම් වූයෙමි
"උඹ නිවාඩු දවසෙත් ගෙදර ඉන්නේ නැතුව අවලමේ යන්නද හදන්නේ ?" අම්මා ඇනුම්පද කීමට පටන් ගත්තා .
"හරි හරි අම්මේ. මම දැන් උදේ ඉඳන් ගෙදර හිටියා කියල කරපු දේකුත් නෑනේ. මම ගිහින් එන්නම්. මට රෑ කෑම තියන්න එපා. අන්න අරුන් ඇවිල්ලා. මම යනවා".
කාර් දෙකක් ගේට්ටුව ඉදිරිපස නවත්වා තිබුනි
'අදනම් ලෙසටම බොන්න වගේ යන්නේ' මම මටම කියාගත්තෙමි.
"වරෙන් බං ඉක්මනට. කැමති කාර් එකක නැගපන්"
මම සලා එක්ක යන්නම්" මම ඉදිරියෙන් තිබූ කාර් එකට නැග්ගෙමි
"ඇයි බං උඹලා කාර් දෙකක ආවේ ? මාත් එක්කම පහයිනේ ඉන්නේ" මම සලාගෙන් විමසූවෙමි
"ඔව් ඒක තමා බං. කොහෙද ඉතින් අරා උගේ අර අලුත් කෑල්ලව ශොපින් එක්ක ගිහින්නේ. ඌට එන්න පරක්කුවෙයි කියලා හිතලා තමා මාත් කාර් එක අරන් ආවේ. කෑල්ලට පොඩ්ඩක් අසනීප වෙලා මගදි. ඉතින් ඒකිව ආපහු ගෙදරට දාලා ඇවිල්ලා. අවුලක් නෑ බං. සල්ලි හෝ ගාලා තියනවනේ, තෙල් ගහගන්න" සලා කියවාගෙන ගියේය
පැය බාගයක පමණ ගමනකින් පසු අපි තඩියාගේ ගෙදරට ළඟා වූයෙමු. තඩියා හැරෙන්නට නිවැසියන් සියල්ලෝම ගමේ ගොස් තිබුණි. ගමේ මොකද්දෝ පෙම් පළහිලව්වක් නිසා තඩියා අම්මාට බොරුවක් කියා ගෙදර නැවතී ඇත
"තඩියෝ!!! අදනම් ගල් බොන්න බෑ. වෙන මොනා හරි තියෙනවානම් බොමු නැත්නම් මම යනවා." විජේ, තඩියා දුටු සැනින් කෑ ගැසුවේය
"හරි හරි වරෙන්. අද රට බ්‍රෑන්ඩ් එකක් තියෙන්නේ. මොකද කියන්නේ ? උඩ තට්ටුවේ සෙට් වෙමු නේ ?" තඩියාද බෙරිහන් දුන්නේය
"තව ටිකක් හයියෙන් කියපන්. හන්දියට ඇහෙන්න ඇති. සෙනා වරෙන් මේ පුටු ටික උඩට ගෙනියන්න" මම සෙනාවත් ඇදගෙන උඩ තට්ටුවට ගියෙමි
තඩියා කෑමට බීමට හරි හපනා . වගේම පාටි මාරයා . දන්නා කාලයේ සිටම තිබූ පාටිවල කෑම ගැන වගකීම බලෙන්ම ගත්තේ . දඩමස් කෑල්ලේ සිට ෆාම් එකේ චිකන් කෑල්ල දක්වා , අලුත්ම මූදු මාලු කෑල්ලේ සිට වැව් මාලු කෑල්ල දක්වා කෙටි වේලාවකින් ලබාගැනීමට හැකි වීම තඩියාටම කල හැකි දෙයකි. පාටිය අවසානයේ කබරයා පාරක් දැමීම හැරුණු කොට දෙන ආතල් කියා නිම කල නොහැක. සුපුරුදු පරිදි බයිට් ටික ගානට මේසය මත තබා තිබුණි
"අඩෝ කජු කොහෙන්ද බං, මං ආසම" මම ඇසුවෙමි.
"දන්නවානේ මචං මගේ වැඩ. උඹටම තමා ගෙනාවේ"

සියල්ලෝම උඩ තට්ටුවට පැමිණි පසු තඩියා බෝතල් දෙකක් කබඩයකින් එලියට ගත්තේය. “Chivas බොනවා නේද හැම එකාම. උඹට ජින්ජර් බියර්. හරි දැන් පළවෙනි ශොට් එක දාගනින්. විජේ කඩපන් බෝතලේ"
"හරි දැන් ඇයි අපි අද බොන්නේ ?" අරාගෙන් පැනයකි. "ආතල් එකට ? තඩියා මොකක් හරි හේතුවක් කියපංකෝ"
"ම්... හරි. අපේ බැළලිට පැටව් හතරක් හම්බුනා. ඒකට" තඩියාගේ පිළිතුර
"එළ. එහෙනම් වෙරි වේවා ! බැළලි තව තවත් බඩ වේවා !!චියර්ස්!!!! "
පළමු බෝතලය වාෂ්ප වූවාක් මෙන් අවසාන විය
"වතුර බොනවා වගේ බොන්න එපා යකෝ. බලපන් ඉතුරුවෙලා තියෙන බයිට් ගොඩ" සලා කීවේය
"ඇයි මේ එකෙක් ඉන්නේ බයිට් කන්න" මට ඇනුම්පදයකි
"ඇයි යකෝ මාර කෙලියක් නේ. මූ දහයකට විතර කන්න බයිට් දැම්මට මම මොනා කරන්න ?"
"හරි හරි. ඒවා වැඩක් නෑ. සෙනා සිංදුවක් පටන් ගනින්කෝ."
සෙනාගේ සිංදුවත් සමඟම දෙවන බෝතලයත් හිස් වන්නට විය. මත් ගතිය වැඩිවීමත් කතාවේ ශබ්දය වැඩිවීමත් සිංදුවල තාලය අවුල් වීමත් සමානුපාතිකව සිදුවිය. තඩියාගේ ජංගමය නාද වන්නට පටන් ගත්තේ මේ වෙලාවේදි
"මොන මගුලක් මන්දා ඕයි මේක. උඹලා එන්න කලින් මාර කෝල් තොගයක් ආවේ මේකට. ආන්සර් කරපු ගමන් කට් කරනවා. හිටපන්කෝ දෙකක් අමතන්නතඩියා ජංගමය අතට ගත්තේය.
"කවුද හු.... තාත්තේ. නෑ නෑ. මම හිතුවේ වෙන කවුරුහරි කියලා. ඔව්. ඔව්. ගෙදර ඉන්නේ. වෙන කොහේ යන්න ? ... අද එනවාද ? ඇයි ? කීයටද එන්නේ ? දෙකට විතර ? හරි හරිතව පැය එක හමාරක් විතර තියෙනවානේ. ඇවිල්ලා කෝල් එකක් දෙන්න. තිබ්බා එහෙනම්"
"බලපංකෝ බං. අම්මලා එනවලු. වේගෙන් බීපල්ලා. තව ටික වෙලාවයි තියෙන්නේ" තඩියාට වෙරි ගතිය අඩුවී ඇති සේ
ඉතිරි වී තිබූ මත්පැන් ටිකද වේගයෙන් අවසන් විය. සියල්ල පිරිසිදු කර අවසන්ව අපි යන්නට සැරසුනෙමු
"සලා මම වාහනේ ගන්න ?" මම සලාගෙන් ඇසුවෙමි.
"අවුලක් නෑ බං. කෝමත් උඹේ ගෙදර ගාවින් මම ආපහු වාහනේ ගන්න ඕනිනේ. මෙහෙමම යමු". 
තඩියාට සමුදුන් අපි ආපසු එන්නට පිටත් වූයෙමු. උදෑසන දෙකට ආසන්න වූ නිසා පාරේ වාහන නොතිබූ තරම් . මංතීරු දෙකේ පාරේ තරඟයට මෙන් අපේ වාහන දෙක හදිසියේ අතුරු පාරකින් දැමූ පැජරෝවක නොගැටී බේරුනේ යාන්තමිනි. හදිසියේ තිරිංග යෙදූ නිසා ටයර් පිළිස්සෙන ගඳක් වාහනය තුලට දැනුනි
"උගේ අම්මාට.. ටිකක් හෙමින් යමන් බං" වීජේ ජාතිය අමතන්නට පටන් ගත්තේ
ඉදිරියෙන් පාර පටුවූ බැවින් වාහන දෙක එක පෙළට යෑමට සිදුවිය. හෙමින් ගමන ඇරඹුවත් නොදැනීම නැවතත් වේගය වැඩිවිය. වංගුවක් පසු කරනවාත් සමඟම ටෝච් පහරක් වාහනය දෙසට එල්ලවිය
"පොලීසියෙන්"
"හරිම සංතෝසයි" මගේ කටින් පිටවිය.
"මහත්තයා ලයිසන් එකත් අරන් බැහැලා එන්නකෝ" එතැන සිටි කොස්තාපල්වරයා කීවේය.
"කොහෙද මේ මහත්තුරු මෙච්චර වේගෙන් යන්නේ? මොකක් හරි හදිස්සියක්වත් ? පොඩ්ඩක් අරගෙනත් වගේ නේද ? ලයිසන් ඉන්ෂුවරන්ස් එහෙම ඇතිනේ. පොඩ්ඩක් ගන්නකෝ බලන්න" තරුණ කොස්තාපල්වරයා කියාගෙන ගියේය
"නෑ මේ අපි ආපහු ගෙදර යන ගමන්. යාලුවෙක්ගේ ගෙදර පොඩි උත්සවයක් තිබුනා. දන්නේ නැද්ද ඉතින්. අපි එච්චර වේගෙන් ආවෙත් නෑනේ" අරා කතා කළේය
"මහත්තයාලා එච්චර නොවුනාට වේගෙන්නේ ආවේ. අනික බීලත් එක්ක. කෝ කෝ. ලයිසන් ගන්න කරුණාකරලා
"එහෙම කරන්න එපා මහත්තයා ඉතින්. ඔයාත් කොල්ලෙක්. අපිත් කොල්ලෝනේ. පොඩි චාන්ස් එකක් දෙන්න
නමුත් කොස්තාපල් තරයේ එය ප්‍රතික්ෂේප කලේය
"ඔන්න ඉතින් මහත්තුරු වැඩ අමාරු කරගන්න හදන්නේ. කරුණාකරලා ලියකියවිලි ටික දෙන්න"

සලා මේ අතර ඔහුගේ මාමා කෙනෙකුට ඇමතුමක් ගත්තේය. ඔහුගේ මාමා පොලීසියේ ඉහළ තනතුරක් දරන අයෙකි. මෙවන් හේතුවකට පළමුවරට ඔහුව අමතන නිසා පොඩි සමාවක් බලාපොරොත්තු විය හැකිය.
"කොස්තාපල් මහත්තයා මේ කෝල් එක පොඩ්ඩක් ගන්න." සලා දුරකතනය ඔහුට දුන්නේය
"නෑ නෑ නෑ. මට ඔය කෝල් එකෙන් රටේ ජනාධිපති කතා කලත් වැඩක් නෑ. කරුණාකරලා ලයිසන් දෙන්න." කොස්තාපල් නොනැමෙන සුලුය
"නෑ නෑ. මේක ගන්නකෝ." සලාගේ ස්වරයද උච්ච වේගෙන එන බවක් වැටහුණි
"සාජන් මහත්තයා. මේ මහත්තුරු ලයිසන් දෙන්නේ නෑනේ" කොස්තාපල්වරයා බැරිම තැන තරමක් ඈතින් සිටි ඔහුගේ ජ්‍යෙෂ්ඨයාට පැමිණිලි ස්වරූපයෙන් කීවේ
සැරයන්වරයා කිසිවක් කීමට ප්‍රථමයෙන් සලා දුරකතනය රැගෙනගොස් ඔහුගේ කනේ තැබුවේය.
සැරයන්වරයා අවුරුදු පනහක් පමණ වූ තැනැත්තෙකි. සම්පූර්ණයෙන් මුඩු කළ මුහුණක් හා නෙරා උදරයක් තිබූ ඔහු කාරුණික පෙනුමක් ඇත්තෙකි.
"හරි සර්. ඔව් නේද සර්. තරුණ ළමයිනේ. ඔව් ඒකනේ. මත්පැන් ටිකකුත් පාවිච්චි කරලා තියෙනවා. ඔව් ඔව්. හරි සර්. මම ළමයාට ෆෝන් එක දෙන්නම්" සැරයන්වරයා දුරකතනය සලාට දුන්නේය
"මාමා කිව්වා ආයෙත් බීලා මේ වගේ එකකට අහුවුණොත් කිසිම සමාවක් නෑ. ආයෙත් කතා කරන්නත් එපා කියලා" සලා මට කෙඳිරුවේය
 "මේ මහත්තුරු කොහෙද හදිසියේ යන්නේ? මොකක් හරි පාටියක්වත් ?" 
"නෑ සාජන් මහත්තයා. පොඩි උත්සවයක් තිබුනා යාලුවෙක්ගේ ගෙදර. ඒක ඉවරවෙලා ගෙවල්වල යන ගමන්" මම කටහඬ අවදි කලෙමි
"මේ රෑ ජාමේ බීලා එහේ මෙහේ යන එකනම් ඉතින් එච්චර හොඳ දෙයක් නෙවෙයි. අනික තරුණ ළමයිනේ. දැන් ඔය මහත්තුරුන්ට වයස කීයක් විතර ඇද්ද ? විසි පහක් ? හයක් ? " අපි හිස සැලුවෙමු. කියන බණක් දැන් අසා සිටිය යුතුය. උපරිම විනාඩි පහකට වඩා මොහු කතා නොකරනු ඇත.

"දැන් බලන්න අර අච්චර ජ්‍යෙෂ්ඨ නිළධාරියෙක් මං වගේ සාජන් කෙනෙක්ට කතා කරන්න සිද්ධ කලානේ. ඒක නිළධාරියාට හරි නෑ. මටත් හරි නෑ. ඔය ළමයින්ට යන්න දුන්නොත් ඒක ලොකු වැරැද්දක්. ඒත් යැව්වේ නැත්නම් ඒකත් හරි නෑ. මොකද මම අර නිළධාරියාට යවන එක සලකාබලන්නම් කිව්ව නිසා. ඔය ළමයි යවලා ආපහු වේගෙන් ගිහින් හැප්පිලා මොනවාහරි උනොත් මොකද වෙන්නේ? " 
"නෑ. එහෙම වෙන්නේ නෑ. අපි හෙමිහිට යන්නම්." අරා කීවේය
සැරයන්වරයා සිනාසුනේය.
"ඔය මහත්තුරු එහෙම කියලා තමයි යන්නේ. උදේට තමා බලාගන්න වෙන්නේ කොහේහරි ලයිට් කණුවක හැප්පුනාම. ඔය මහත්තුරු කසාද බැඳලාද ? " නැවත ඔහුගෙන් පැනයකි.
අපි සියලු දෙනාම හිස දෙපසට වැනුවෙමු
"මේ යකාට මොකටද බං අපි බැඳලා හිටියත් නැතත්?" සෙනාගේ කටහඬ නොරිස්සුම් සහගතය
"කව්ද බං දන්නේ" මම කෙඳිරුවෙමි

"මට තරුණ ගෑනු ළමයි දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ට විසි එකයි. අනිත් කෙනාට දහනමයයි. අද කාලේ තරුණ ගෑණු ළමයි දෙන්නෙක් පරිස්සම් කරනවා කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. කොල්ලෝ විශ්වාස කරන්න අමාරුයි නේ. කෙල්ලොන්ව රවට්ටාගෙන අයුතු ප්‍රයෝජන ගන්න ඉඩ තියෙනවා. ඔය ළමයා මොකද හිතන්නේ ගැන ?" 
"ගෑණු ළමයින්ටත් පොඩි වගකීමක් තියෙනවා නේද සාජන් මහත්තයා. එයාලා පාඩුවේ ඉන්නවානම් කොල්ලෝ කරදර කරන්න එන්නෙත් නෑනේ" අරා පිළිතුරු දුන්නේය
"ඔව් ඒකත් හරි. ඔය මහත්තරුන්ට කියන්න අපේ ගෙදරට එහා පැත්තේ තියෙනවා ජිම් එකක්. ඕකට නා නා ප්‍රකාර මිනිස්සු එනවා. ඉතින් ඒකට ආපු පිරිමි ළමයෙක්ට බර උස්සන්න ගිහිල්ලාඔය මොකද්ද මන්දා පිටේ තියෙන පේශියක් ඇදිලා. ඒකට තෙල් ගාගන්න කියලා අපේ ගෙදරට ඇවිල්ලා තියෙනවා. අපේ ලොකු දුව තමා තෙල් ටික ගාලා දීලා තියෙන්නේ. මොනවා උනත් මිනිහෙක් අසරණ උනාම උදව් කරන එක අපේ ගතියක්නේ."

"කොහෙද බං ඔය ජිම් එක තියෙන්නේ. මටත් තෙල් ටිකක් ගා ගන්න ඕනි."
"ආපු එකා තෙල් ගාලාම දෙන්න ඇති"
"කෑ ගහන්න එපා යකෝ" මම විජේට හා සෙනාට ඇඟිල්ලෙන් ඇන්නෙමි. සලාට දැන්නම් හිටගෙන නින්ද යන ගානට ඇවිත් . බණ පටන්ගෙන පැය බාගයටත් වඩා ගතවී ඇත.

සැරයන්වරයා නොනවත්වා කතා කරගෙන ගියේය.
"ඉතින් කොහොමහරි ඔය පිරිමි ළමයා ගැන අපේ දුවට හිතක් පහළවෙලා තියෙනවා. ළමයාත් දුවට කැමති බවක් කියලා තියෙනවා. වුනාට අද කාලේ කොහොමද මහත්තයෝ මිනිස්සු විශ්වාස කරන්නේ. මගේ කෙල්ලව අනාත කරලා දාලා ගියොත් එහෙම. මම දුවට කිව්වා මේක නවත්තන්න කියලා. වුනත් දුව කියනවා අප්පච්චිට එපානම් මටත් එපාය. ඒත් වෙන කසාදත් එපාය කියලා. ඉතින් මම දැන් මොකද්ද කරන්න ඕන කියලාද මහත්තුරු හිතන්නේ ?" 

"මම නම් හිතන්නේ දුවට තේරුම් කරලා දෙන එක හොඳයි. තව හිතලා බලලා තීරණයක් ගන්න කියලා" අරා කතාවට ඇදී ගොස් ඇති සේය
"අනේ ඕන රෙද්දක් කරගන්න කියපං බං" සලා නිදිමතේ කුටු කුටු ගායි
"නෑ මහත්තයෝ. මම හිතුවේ මෙහෙම. අන්තිමේට මගේ දරුවා තීරණේ කලොත් එහෙම කසාදයක් නොකරම ඉන්න මාත් හරි අමාරුවක වැටෙනවා. අනික මේ ළමයි දෙන්නා එක එක්කෙනාට කැමතියිනේ. ඒක නිසා මම තීරණේ කලා කසාදෙට කැමැත්ත දෙන්න. ලබන මාසේ දවසක් බලලා තියෙන්නේ. කල් නොදා වැඩේ ඉවරයක්ම කරලා දානවා
අපි සියල්ලෝම තුෂ්නිම්භූත වූයෙමු. මේ වගේ මාමණ්ඩි කෙනෙක් හමුවුනොත් වැඩේ හරි ලේසි
"මහත්තරුන්ට හෙට වැඩ එහෙමත් ඇතිනේ නේද ? ආයෙත් බීලා වාහන එලවන්නේ නැතුව ඉන්නවානම් තමයි හොඳ. තරුණ ජීවිත නිකරුණේ නාස්ති වෙලා යනවා මොනවා හරි උනොත්. පරිස්සමට ගෙවල්වලට යන්නකෝ එහෙනම්"
සැරයන්වරයාගේ කාලීන දේශනය විනාඩි හතලිස් පහකට පමණ පසු එසේ අවසන් විය.
අපි නිදිමතේ හා වෙරිමතේ වැනෙමින් වාහන දෙකට ගොඩ වූයෙමු. ටික වේලාවක් නිහඬව වාහනය පැදවූ සලා මෙසේ කීවේය
"දඩේ කෑවානම් සැපයි යකෝ !!!"

සුදේශ් K. ප්‍රේමරත්න 

24.03.2019

Comments

Popular Posts