ඈ.....

පාලු උද්‍යානයේ කෙළවරේම බංකුවේ මං වාඩිවෙලා හිටියේ මොකද්ද කරන්නේ කියලා හිතාගන්න බැරුව. මං මෙහෙම තනිවෙලා හිටපු එකෙක් නෙවෙයි. ජීවිතේ එක එක කාලයන් පහුවෙලා යද්දි එකිනෙකා අතර තිබුණ බැඳීම් නැතිවෙලා යන බව මට තේරිලා තිබ්බේ
ඇය මට මුලින්ම හමුවුණේ මේ උද්‍යානයේදීම යි. කූඩුවකින් වැටිලා හිටපු පුංචි කුරුලු පැටියෙකුට සාත්තු කරන්න ඇය වතුර හොයද්දි අහම්බයකින් වගේ මම එතනින් ගියා. කුරුලුපැටියා නිදහසේ ඉගිලිලා ගියත් මගේ හිත තුල හිරවුනේ මටත් නොදැනීම
හරිම සුන්දරයි. බාහිරින් පෙනෙන චාම් බවත් එක්ක ඇගේ ගතිගුණ නිසා සුන්දරකම තවත් වැඩිවුණා මිසක් අඩුවුණේ නැහැ
"ස්තූතියි ඔයාට"
හිනාවෙනවා
"ඔහොම මම දිහා බලං ඉන්න එපා. මම ඇදිලා ඒවි"

ඇය දැනං හිටියේ නෑ දැනටත් මගේ හිතට ඇදිලා ආවා කියලා. ඔව්. පිරිමි අපි එහෙමයි. දැක්ක ගමන් ආදරේ හිතෙනවා. ඒක කාමුක සිතුවිල්ලක් නෙවෙයි. සමහරවිට ඒක පූජනීය එකක් වෙන්න ඇති. නැත්නම් වෙන මොකක්හරි සිතුවිල්ලක් වෙන්න ඇති. එහෙන් මෙහෙන් පෙන්නාගෙන ඉන්න ගෑණු දරුවෝ ගැන නෙවෙයි මම මේ කියන්නේ. එහෙම අය දැකලා ටික වෙලාවකින් අපට අමතක වෙනවා. ඒත් සරල චාම් අය අපේ හිතේ නතර වෙනවා
"හ්ම්ම්...."
මං දිග හුස්මක් හෙලුවා.
"සමාවෙන්න. ඔයාගේ ඇහිබැම උඩින් තියෙන උපන් ලපේ දිහා බලං හිටියේ. ඒක හින්දා ඔයා තවත් ලස්සනයි"

මොකද්ද මං කිව්වේ. කොහෙන් ආපුවාද දන්නේ නෑ. මට ඒක නිකන්ම කියවුනා
ඇය ලැජ්ජාවෙන් රතු වුණා. ආයෙත් හිනාවුන මට අතවනලා යන්න පිටත් වුණා
"ඉක්මනට යන්න. වැස්සක් වහින්න හදන්නේ" මං කිව්වා

මගේ ගාව කුඩයක් තිබුණා. ඕන්නම් අර චිත්‍රපටිවල වගේ ඒක ඇයට දීලා මට තෙමි තෙමී ගෙදර යන්න තිබ්බා. වුනාට මේක සැබෑ ලෝකේ. කුඩේ නැතුව ගෙදර එන්න එපා කියලා අම්මා කලින්ම කිව්වා. අනික කෙල්ල කොච්චර ලස්සන උනත් මම පස්සෙන් යන එකෙක් නෙවෙයි. මමත් උද්‍යානයෙන් එලියට ආවා

නිවාඩුව ඉවර වෙන්න දවස් කීපයයි තිබ්බේ. පොතක් ගත්තා නම් වැස්සේ ගෙදරට වෙලා කියවන්න තිබුණා. හිතුවිල්ලත් එක්ක මම පොතක් ගන්න ගියා. පැය ගානක් පොත් තෝරපු මම අන්තිමේදී පොත් දෙකක් තෝරාගත්තා.

හොඳ පොත් දෙකක්. ලස්සන අවසානයන් තියෙනවා දෙකේම" කවුදෝ කියනවා ඇහුනා.
මං ඉන්න නගරේනම් හරිම පොඩියි වගේ. මෙන්න මෙතනත් ඉන්නවා. එකම දවසේ දෙපාරක් හමුවුණ එක අහම්බයක් වෙන්න බෑ. මම මටම කියාගත්තා
එදා විදියට පටන්ගත්ත අපේ කතාව අවුරුදු තුනක් එක දිගට ගලාගෙන ගියා. අහිංසක හිනාව, හුරතල් කතාබහ මාව අලුත් මිනිහෙක් කලා. ඇගේ සියුමැලි දෙතොලේ ස්පර්ශය මාව නැවුම් කලා. ඒත් හැමදේම අවසානේ ඉවර උනේ නොහිතපු විදියට
නැහැ. මට මෙතනින් එහාට මේ කතාව ලියාගන්න තරම් හයියක් නැහැ. ඒත් මට දුන්න ආදරේ හැමදාමත් මාත් එක්ක තියේවි

.ලි.
උද්‍යානය පාලු උනේ වෙන මොකුත් හින්දා නෙවේ. අලුතෙන් හදන මහපාරට ඒක යටවෙන හින්දා. හෙට උදේට වැඩට එන කම්කරුවෝ මාව හොයාගනීවි. එතකන් මම ඇගේ මතක සුවඳ එක්ක මෙතන ඉන්නවා....

සුදේශ් K. ප්‍රේමරත්න 

23.01.2019

Comments

Popular Posts